Friday, July 27, 2018

අයියනායක අඩවිය


එදා හිරු උදා උනේ වෙනදාට වඩා හරි අපූරුවටය. සත් මාසික පුහුණුවකින් පසුව ගම් බිම් බලා යාමට සිතා මා බස් රියට ගොඩවූයේ වෙනදාටත් වඩා නොඉවසිල්ලෙනි. හාත්පස පරිසරය නිසොල්මන් උවද වෙනදාට වඩා අමුතුය.ඊයේ රාත්‍රියේ මා තිගැස්සී අවදි වූ මොහොත මට මතක් වූයේ එවිටය. ගෙදර යෑමට පෙරැත්තය හදවතේ උතුරා ගියත් අසුභ දෙයක් වීමට සිදුවන බව ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. කොළඹ සිට පැමිණි 57 අනුරාධපුර බස් රිය ගම් දනවූ සිසාරා ඇල්ල අයියනායක දේවාල අඩවියට පැමිණි වහා මම හුනස්නේන් නැගීසිට දෙ අත නළල මත තබා ඒ දෙස බලා අයියනායක දෙයියන්ගේ පිහිටයි කීම පාසල් යන අවදියේ පටන් අප්පච්චි මට ඉගැන්වූ  අපූරු මතකයක් විය. ඇදී ගිය බස් රිය ඉදිරිපස බස් නැවතුමෙන් නැවතූ විගස බැසගත් මම දෙවැට දිගේ ඇදුනේ ජජ්ජර නදියෙන් එතෙර වනු පිණිස සේතන් මාමාගේ පාරුව බලාය.වාසනාවකට මෙන් සේතන් මාමා මෙගොඩ ආවා පමණි.

"දෙයිහාමුදුරුවන්නේ සුදු මැණිකෙනෙ මේ.......මයෙ මතකෙ හැටියට හත් දොහකින් විතර මේ ගමට එන්නෙ අනේ වසනාවන්ඩ අයියනායක දෙයයන්ගේම පිහිටයි."
පාරුව පදින අතරතුර සේතන් මාමා හා පිළිසඳරක යෙදිමට මට අවැසි උවද ඔහු සිටියේ ගැටළුවකින් බව මට දැනුනේ ඉබේටමය. ඔහුගේ අවදානය මොහොතකට බිදීමට මට අවැසි විය.
"සේතන් මාමේ පාරු කවියක් කියන්නකො ආසාවේ බෑ අහන්ඩ."
"සුදු මැණිකෙට කියන්ඩ පාරු කවියක් කියන්න තරම් වත් හිත් වදින් නෑ මැණිකෙ වෙලා තියෙන දේවල් වල හැටියට. ඒත් ගම් මැණ්ඩිය තව දුර හින්දා ඕන් මන් එකක් කියන්නම්කො එහෙනම්"

" දියයට කිඹුලා දිය මතුපිට ඔරුව               වෙතේ
  ගඟ දිය මතින් පැදගෙන සීරුවට               යතේ
  දෙපසින් මහ වනය දැකලා සුසුම්               ලතේ
  තොටුපල දැක මෙමන් යහතින් ගමන්         යතේ "

"අයියනායක පිහිටයි. ඇස්වහක් කටවහක් නෑ සේතන් මාමේ ආසාවේ බෑ මට නම්' ගම් මැණ්ඩියට වැඩි දුරක් තව නැති හින්දා අපෙ අම්මා සේතන් මාමාගේ කවිය අහන්  ඇති මම දැන් කොහෙද බලන්න."

බෑගයෙහි දමා තිබූ  මගේ දුරකථනය නාද උනත් මා එයට පිළිතුරු නුදුන්නේ හාත්පස පරිසර සුන්දරත්වයෙන් මොහොතකට වත් මිඳීමට මට  අවැසි නොවූ නිසාවෙනි. මන් එනතුරු අම්මා දැන් මග බලා සිටිනු ඇත.
 " මොකක්ද අර සේතන් මාමා කියපු වෙලා තියන දේ අනේ මටත් කියන්නකො."
  සත් මසක් දුරකථන  භාවිතයෙන් ඉවත්ව සිටියේ මා ලද පුහුණු පාඨමාලාවේ වූ නීති රාමුවට එකඟ වෙමිනි. එදා මෙදා තුර සිදුවූ  විශේෂ සිදුවීම් සියල්ල මට දැන ගැනීමට සිත තුළ වූයේ දැඩි කලබලයකි . නමුදු සේතන් මාමාගේ මුහුණ දුටු විට කුමක් නමුත් අසුබ දෙයක් සිදුවී ඇති බව මම වටහා ගතිමි. වේගයෙන් හුස්මක් පිට කළ ඔහු මා දෙස හෙලුවේ  දැඩි අසරණ බැල්මකිනි.
"ලොකු මැණිකෙ ඇරෙන්න  වෙනනම් කවුරුවත් කවි අහන් නෑ මැණිකෙ. ගමට හරි අසුබ කාලයක් ලබලා තියෙන්නේ.  දෙගල් අස්සෙ ගෙදර ධර්මෙ වැවු තාවුල්ලේ පහුගිය දොහක එල්ලිලා මැරුණා' ඒක හරි විලාපයක්. ඔක්කොම කියන්නෙ දේව සාපයක් කියලා. අප්පොච්චියේ බලන්න එපැයි සේද එතනගෙ කෑගැහිල්ල. .ඒකිට දැන් දරු පස්දෙනයි. බණ්ඩාරයගෙ කිසි අණක් ගුණක් තිබුන්  නෑ. හැම තැනටම  ණ‍ය. අනේ මන් දන් නෑ අර අසරණ ගෑණි දරුවොත් එක්කන් මක් කොරන්නද කියල "

බණ්ඩාර මාමාගේ මිනී පෙට්ටියේ මිනිය තැබූ පසු  හිස් ඉඩක් ඉතුරුවී තිබූ බවත් එය මරණ හතක් සිදුවීමේ අසුබ නිමිත්තක් බවත්   මා දැනගත්තේ අම්මා එක දිගට කියාගෙන ගිය විස්තරයෙනි. ගමට මෙතරම් විපතක් වූයේ ඇයි දැයි මට හිතා ගන්නට බැරිවිය. දෙයියන්ගේ අඩවියේ අසාධාරණයට කිසි දිනක වරම් නොදෙන බැවින් කුමක් නමුත් අත් වැරැද්දක් නැතිනම් කට වැරැද්දක් අනිවාරෙන්ම සිදු වී ඇති බව මට වැටහිණි.
"සුදු මැණිකෙ අන්න අප්ප්ච්චි කතා කරනවා."
වහා හුනස්නෙන් නැගී සිටි මා අප්ප්ච්චී වෙත ගොස් දෙපා නමදින ලදී. අප්ප්ච්චී ගමට හිටිය එකම ආයුර්වේද වෙද මහත්තයා වීමත්  අම්මා අත් බෙහෙත් සාස්තරයට හා තෙල් මැතුරුම් වලට උපන් හපන්නියක වීමත් මා ලද වාසනාවකිය. රැයේ දුටු සිහිනය මා ඔවුන්ට විස්තර කළ විගස සුපුරුදු පරිදි කලබල වූයේ අම්මාය.
"ගමේ එකාලගෙ ඇස්වහ මගෙ මැණිකෙට .දෙහි ගෙඩ්යක් කපලා ආරක්ෂාවක්  කළොත් හොඳයි නේද අපේ මහත්තයා."
කවදා නමුත් අම්මාගේ අණට අවනත වීම අප්පච්චිගේ සිරිතය.සොඳුරු පිළිසඳරකින් අනතුරුව අම්මා උණු කර දුන් වතුර බේසම දුටු වහා මට ඇති වූයේ ඈ කෙරේ පුදුමාකාර සෙනෙහසකි. කොහොඹ දළු කහ සැවැන්දරා නික දළු යොදා කොළ වතුර එකක් ඇය මා වෙනුවෙන් සාදා තිබීම මා පාසල් යන අවදියේ පටන් ඇගේ සිරිත විය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර මා නිවසට පැමිණි දින වලද ඇගෙන් ලැබුනේ මෙවැනිම පුද සත්කාරයකි. අම්මාගේ භූමිකාව මහ පුදුමාකාරය. දෙනෙතට ඉනූ කදුළු කැට වහා දෑතින් පිසගත් මම ස්නානයෙන් අනතුරුව බුදු පහන තබා මිදුල වෙත යනවිට අප්පච්චී අයියනායක පහන් පැළේ පහන දල්වා හමාර වුවා පමණි.
"මම් මරණ ගෙවල් පැත්තෙ ගිහින් එන්නම්. මිනියක් ඉස්සුනු ගෙවල්  තනි කරන්න හොඳ නෑ සුමාන තුනක් යනකම්වත්."
ඒ අප්පච්චිගේ කටහඬ විය.
"ගියාට කමක් නෑ. ආයෙ ගෙට ගොඩ වෙද්දි දෙහි කොළයක් ගාගෙන ආවොත් හොඳයි. සුදු මැණිකෙට මන් ආරක්ෂාවක් කරනවා.අනිද්දට දෙයියන් වැඳිල්ල ගැනත් කතා කරගන්න. අස්වනු ගෙට ගත්ත ගමන් හරි නම් මේ චාරිත්‍ර කරන්නෙ. . මළගෙවල් නිසා තමයි මේ තරම් කල් ගියෙ. ඒකට කාරි නෑ දැන්වත් මේ දේව කාරිය කරන්න ."
ඔවුන් දෙදෙනගේ කතා බහින් අනතුරුව ගෙතුළට පැමිණි අම්මා ඇගේ පරම්පරාවෙන් ඈට හිමි ගාථා පෙළක් කියා මල් වට්ටියක් ඉදිරිපස කහ ගැල්වූ  නූලක් තබා එයට දුම්මල අල්ලන ලදී. පසුව දෙහිගෙඩියක් ගෙන මගේ හිසෙහි සිට පාදාන්තය දක්වා ගෙනගිය ඈ ගිරයකින් එය කපා කහ ගැල්වූ නූල ගෙන මගේ කරට දමන ලදී.
කොරටුවේ එළවළු වලින් සෑදුණු රාත්‍රී ආහාර වේල බුක්ති විදි මා ඇඳට වැටුණා පමණි මට එදවස ගැන අන්තිම මතකය එය විය. පසුදා උදෑසන අම්මාගේ උස් හඬින් අවදි වූ මා මුලුතැන්ගෙයට දිව ගියේ සිදුවන කලබලය කුමක්දැයි බැලීමටය. අම්මා හා අප්පච්චී ලොකු කථා බහක සිටින ලදී.
යල් කන්නයේ අස්වනු ගෙට ගත් විගස සිදු කරන කිරි ඉතුරුම් උත්සවය සියලු ගම් වැසියන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි. අප්පච්චී එහි නායකත්වය ගත් අතර අවැසි කළමනා කටයුතු සියල්ල සකස් කළේ  අම්මා විසිනි. සිරිත් පරිදි  ගමේ වැඩිහිටි කාන්තාවන් කිරි ඉතුරුමට පෙර දින අප  නිවසට  පැමිණ  අවැසි දෑ සකස් කර ගැනීමට අම්මාට සහය වේ. දවස මැද වදින විට අස්වැන්නේ පළමු සහල් මිට හෙවත් අක්කියාලද රැගෙන සේතන්  මාමා අප නිවසට එනවිට අප්පච්චී සිටියේ පුලුක් අතු කපා මල් පැලක් සාදමිනි. ගමේ වෑකන්ද පාමුල වූ දැවැන්ත  සියඹලා ගස යට කෙම්මුර දිනයකදි සිදුකරන මේ කටයුත්තට අසල්වැසි ගම් වාසීන්ද ඇතැම් විට  සහභාගී වේ. අප්පච්චීත් සේතන් මාමාත් මල් පැලද රැගෙන නිවසින් පිට වූ පසු අම්මා මට දුන් පඬුරු කාසි සියල්ලම මා විසින් කහ දියෙන් නාවා බුලත් කොළයක් මත තැබුවෙමි. කෑම කාමරයේ තිබූ කෙසෙල් ඇවරි වල සුවඳට නහය පිනා ගියද හෙට දිනයේ දෙවියන් පිදීමට අප්පච්චී විසින් ඒවා ගෙන එන ලදී . හවස් යාමයේ අප  නිවසට පැමිණි කාන්තාවන් විසින් අතින්  කොටාගත් සහල් පොලා වී ඇට අහුලන ලදී. දවස කොපමණ වේගයෙන් ගලා ගියේ දැයි  හිතාගන්නටත් බැරිය.  පහන් අළු  පොල්තෙල් කපුරු පෙති  හඳුන්කූරු   කෙසෙල් අතු  සියල්ල සකසා   මේසය උඩින් තැබූ  අම්මාත් මමත් රාත්‍රී ආහාර සකසන්නට විය.  දවස පුරා මහන්සි  වූ නිසාවෙන් නිදි දෙවුදුව  දෙනෙතට ආ බැවින් ඉක්මනින් ආහාරද ගෙන නිදි ඇඳට ගිය මට සේතන් මාමාගේ පාරු කවි හඬ ඈතින් ඇසෙන්නට විය. ඔහු මෙගොඩට ඒමට තව දුර ඇති බව වටහාගත් මම තවත් කවි ඇසීමේ ආසාවෙන් ඒ දිශාවට කන්දී සිටියද  නින්ද ඒ මොහොතෙහිම මා කරා එන්නට ඇත.
"සුදු මැණිකෙ හොඳටම පරක්කුයි. අවදි වෙන්ඩ. පළවෙනි බෙර සද්දෙත් ඇහුණා.  ඒකෙන් කියන්නේ අප්පච්චිලා වැඩ පටන් ගත්තා කියන එක.කිරි පූජාවට දෙවනි බෙර වාදනය පටන් ගන්න ඉස්සෙල්ලා මයෙ මැණිකෙ එන්න.,,
ඇදෙන් පැන්නාද බැස්සාදැ‍යි මට නිශ්චිත මතකයක් නැත. දත කට මැද ඉක්මනින් ගමනට සූදානම් වූ මා එහි යන විට දෙවන බෙර පූජාව පටන් ගත්තා පමණි.  එහි සිටි ගම් වාසීන් මා දැක  ප්‍රසන්න හැගීමක් පළ කළද ඔවුන්ගේ මුහුණු වල තැන්පත් දුක මට ඉවත් කළ නොහැකි විය. වීරේ මාමාගේ නිවස ඉදිරිපස වූ කොහොඹ අතු දැක සිත කලබල උවත් මා එවලෙහි අම්මාගෙන් කිසිත් විමසුවේ නැත'
සේතන් මාමා කපුරාල කෙනෙකු සේ  සුදු පිරුවටය හැද රතු රෙද්දක් ඉණ වටින් බැද මල්පැල ඉදිරියේ යාතිකා විය.  පිරිමි පාර්ශවය පමණක් සියලු කටයුතු වල නිරත වූ අතර ගැහැණු පාර්ශවය ඊට මදක් දුරින් පැදුරක වාඩි වී සිටීම එදා  පටන් වූ සිරිත විය. බුදුන්ටත්  ගම්භාර දෙවියන් ප්‍රමුඛ සියලුම දෙවියන්ටත් කඩවර ගොටුව පිදීමටත්  වශයෙන් කිරි මුට්ටි තුනක් ඉතිර වූ අතර කපුරාල මාමා ඒ ඉතුරූ කිරි රැගෙන සියල්ලන්ගේම හිසමත ගා අයියනායක දේව අශිර්වාදය එක් කරන ලදී. හදිසියේම දේව ආරූඪයකින් සේ හුස්ම ඉහළට ඇදගත් සේතන් මාමා හිස වැරෙන් දෙපසට හොලවමින් අමුතුම බසකින් කතා කරනaනට විය. ඔහු මායමින් ඇසූ සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන් අප්පච්චී  ඔහුගෙන් සමාව යදින ලදී. සිදුවූයේ කුමක් දැයි වටහා ගැනීමට නොහැකි වූ මා අප්පච්චිගේ මුහුණ බලන ලදී.
ගිය කන්නයේ කිරි ඉතුරුමට එක් කල සහල්  වලින් කොටසක්  ධර්මෙ මාමා විසින් කඩයකට විකුණා ඇති බවත් ඔහු ඒ මුදල් වලින් සූදුවෙහි නිරත වී ඇති බවත් අප්පච්චී පැවසුවේ දැඩි කළකිරීමෙනි. පන්සලේ සැතපෙන පිළිම වහන්සේ කඩා නිධන් වස්තු සොයා කළ බරපතල වරදින් නීතියෙන් ඔහු දඬුවම් වින්දද   දෙවියන් ගෙන් සමාවක්  ඔහුට  නොවූ බවත් තමා කළ වැරදි ගැන පසු තැවී අවසානයේ අකාලයේ මියදීමට සිදුවූ බවත් අප්පච්චි පැවසුවේ කපුරාල මාමා මායමින් කියාගෙන ගිය විස්තරයෙන් පසුවය. ගෙට ගත් අස්වනු වලින් අක්කියාල වෙන් නොකර කෑමට ගත් වීරෙ මාමාට දෙයියන්ගේ ලෙඩ වැළදී ඇති බවත්  අප්ප්පච්චී පවසන ලදීදේ අපේ මිනිස්සු වත කියන දේ නොදත් විට ඔහොම වෙනවා කියමින්ය..
  ඒ අතරමැද පියවි සිහිය ලැබූ කපු රාල මාමා කෙසෙල් කොල මත මුට්ටි තුනෙන්ම ගත් කිරිබත් තබා දේව කන්නලව්ව සිදුකරන  ලදී.

 
ආතුරයට දිවි රකින්න උතුම් සරණ බුද්ධ රාජ
ගනදුර බිඳ එළි කරන්න උතුම් සරණ ධර්ම රාජ
අණසක ලොව පතුරවන්න ධීර විකුම දේව රාජ
ගම් තුලාන රැක දෙවන්න අයියනාය දේව රාජ..............

 ඉන් අනතුරුව කපුරාල මාමා බුලත් කොළයක පඬුරක් තබා කහ දියෙන් නාවා මල් පැලෙහි  තබා වඳින ලද අතර සෙසු අයද එසේ තම බලාපොරොත්තු  ප්‍රාර්ථනා කරන ලදී.    සියල්ල අවසානයේදී  නැගී සිටි අප්පච්චී  කපුරාල මාමා අතට බුලත් කොළයක තබා පඬුරු පිළිගන්වන්නට විය. සිද්ධ උනු දේවල් දැන් වෙලා ඉවරයි. අයියනායක දෙයියන්ගේ අඩවියේ වචාවට අසාධාරණයට ඉඩක් නෑ. යහතින් කල් ගෙවුවොත්  අපි ඔක්කොටම කිරි ඉතිරෙයි කියූ අප්පච්චී  අහින්සක සිනාවක් පා සියල්ලන්ටම කිරිබත් කැවුම් බෙදන ලදී. මෙතෙක් වෙලා සියල්ල දෙස ඉතා ඕනෑ කමින් බලා සිටි මා  අවසානයේදී දෙනෙතට ඉනූ කදුළු පිසදා ගත්තේ හිතේ වූ රිදුම් දුන් අසනීපයකින් මා සුවපත් වූවා මෙණි.

HS/2015/O139
D.M.A.C. DASANAYAKA



  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...